News

“මාසයක් ගතවීමට පෙර තවත් ලක්‍ෂ තුනහමාරකට සමෘද්ධිය ලබා දෙනවා”

ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ

සමෘද්ධිය ලබාදෙන ලෙස තවත් අයැදුම්පත් ලක්‍ෂ හතරක් පමණ ලැබී ඇති බවත් එම පිරිසෙන් ඇත්තටම සමෘද්ධිය හිමි විය යුතු ලක්‍ෂ තුනහමාරකට තව මාසයක් ඉක්ම යෑමට පෙර සමෘද්ධිය ලබා දෙන බවත් ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේය.

දිස්ති‍්‍රක්ක 15 ක සමෘද්ධි පාලක මණ්ඩල සභාපතිවරුන් සහ සමෘද්ධිලාභීන් පිරිසක් හමුවේ පසුගියදා සුහුරුපාය අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයෙදි පැවැති රැස්වීමක් අමතමින් ඇමැතිවරයා ඒ බව කීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

කාන්තාවන් පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද වැඩි වශයෙන් දායක කර ගැනීම අපේ අපේක්‍ෂාවයි. පිරිමින් උපයන ආදායමෙන් සියයට 50 ක් පමණ නොයෙක් හේතු නිසා පවුලේ ආර්ථිකයට දායකත්වයක් නොදුන්නත් කාන්තාවන් උපයන ආදායමෙන් සියයට 90 ක් පමණ පවුල වෙනුවෙනුත් දරුවන් වෙනුවෙනුත් ලබා දෙනවා. ඒ නිසා ගම්වල කාන්තාවන් ශක්තිමත් කිරීමෙන් එම පවුල් ශක්තිමත් කළ හැකියි. කාන්තාවක් ලෙස මගේ භාර්යාවත් නොයෙක් අංශ වලින් විශාල සේවයක් සිදු කරනවා. දරු පවුල වෙනුවෙන් මහත් ආදර භක්තියෙන් කටයුතු කරන ඇය දේශපාලනඥවරියක්, ව්‍යවසායිකාවක් ලෙස ද සැලකිය යුතු වැඩ කොටසක් ඉටුකරනවා. මම දේශපාලනයට එන විට ඇය ඊට විරුද්ධව මාත් සමග රණ්ඩුත් කළා. අවසානයේ ඇයට කලින් මම දේශපාලනයට ආවත් මට කලින් ඇය පාර්ලිමේන්තුවට ගියා.

පේ‍්‍රමදාස මහත්තයා ජනසවියෙන් එදා ජනතාව සවිමත් කළා. ඇඟලූම් කම්හල් වලින් දුප්පතුන්ට සහනයක් ලැබුණා. අද වගේම එදත් ආණ්ඩුව හොඳ වැඩක් කරන විට විපක්‍ෂය ඊට විරුද්ධව කි‍්‍රයා කළා. පේ‍්‍රමදාස මහත්තයා දුප්පතුන්ට පිහිට වෙන්න ඇඟලූම් කම්හල් ගෙන එද්දී සුද්දියන්ට යට ඇඳුම් මහනවා කියලා විපක්‍ෂයේ සිටි මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් චෝදනා කළා. ඉන් සිදු වුණේ එම රැුකියාවේ අභිමානය නැතිවීම පමණයි. රටේ ආදායමෙන් සියයට 10 ක් ව තිබූ අපනයන ආදායම ඇඟලූම් කර්මාන්තයෙන් පසුව සියයට 54 ක් දක්වා ඉහළ ගියා. හීනෙකින්වත් රැුකියාවක් කරන්න නොසිතූ කාන්තාවන්ගේ ආදායමත් ඔවුන්ගේ පවුලත්, රටත් එම ඇඟලූම් කම්හල් නිසා දියුණු වුණා. ඔවුන් රටට උපයලා දුන්නු ආදායමෙන් රටේ තිබුණු ණය ගෙවලා දැම්මා.

ඒත් සමහරු ආණ්ඩුවේ මුදල් වලින් දළදා මාළිගාව වටේ කාර් රේස් ගියා. ඩොලර් මිලියන ගණන් වටිනා කාර් ගෙනාවා. අන්තිමට ණය ඉතිරි වුණා. අපි ආණ්ඩුව ගන්න කොට ණය පොලී විතරයි ගෙවීමට හැකි වුණේ. වාරිකයක් ගෙවන්නවත් සල්ලි තිබුණේ නැහැ. රාජපක්‍ෂලා එතරම් ණය අරගෙන තිබුණා. ඔහු යුද ජයග‍්‍රහණයේ අයිතිය තනිකරම තමාගේ සාක්කුවට දමා ගත්තා. ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ඔහුත් සමග අනෙක් පැත්තෙන් ජනාධිපතිවරණ තරගයට ආවා. ජාතිවාදය අවුස්සලා මහින්ද රාජපක්‍ෂ ජයග‍්‍රහණය කළා. ඒත් ඊට පසු අවුරුදු පහ තුළ ඔහු රටට කළ සේවයක් නැහැ.

සමෘද්ධි අමාත්‍යාංශය අපේ ආණ්ඩුව යටතේ සජිත් පේ‍්‍රමදාස, එස්. බී. දිසානායක සහ පී, හැරිසන් යන ඇමැතිවරුන්ට ලැබුණා. ඒත් අගමැතිවරයාගේ බලාපොරොත්තු වූ සමෘද්ධිය නොලැබුණු පිරිසට සමෘද්ධිය ලබා දෙන්න ඒ එක ඇමැතිවරයකුටවත් හැකි වුණේ නැහැ. දවස් 52 ක් ආණ්ඩු කුමන්ත‍්‍රණයකින් රට අකර්මණ්‍ය වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වී නැවත අපේ ආණ්ඩුව යටතේ සමෘද්ධි අමාත්‍යාංශය මට හිමි වුණා.

2015 අපේ ආණ්ඩුව බලයට පැමිණි වහාම ජනතාව විදුලිය ඉල්ලූවා. සියයට සියයක් එය සම්පූර්ණ කළා. ජලය ඉල්ලූවා. සියයට 70 කට පමණ නල ජල පහසුකම් ද දැන් ලැබෙනවා. දුප්පතුන් වුණත් සමෘද්ධිය නැතැයි පිරිසක් ප‍්‍රකාශ කළා. අපි ඔවුන්ටත් සමෘද්ධිය ලබා දුන්නා. ලක්‍ෂ හයකට සමෘද්ධිය දෙන්න මුදල් අනුමත කර ගත්තා. දිස්ති‍්‍රක්ක විසිපහේ පන්ලක්‍ෂ හතළිස් හයදහසකට සති දෙකක් තුළ සමෘද්ධිය ලබා දුන්නා. තවත් අයැදුම්පත් ලක්‍ෂ හතරක් පමණ ලැබී තිබෙනවා. ඒ ලක්‍ෂ හතරෙනුත් ලක්‍ෂ තුනහමාරකට සමෘද්ධිය ලබා දෙනවිට සහරාන්ගේ බෝම්බයෙන් අපට බලපෑමක් ආවා. ඒත් අපි ඉක්මනින් නැගී සිටියා. සංචාරක කර්මාන්තය නැවත සියයට 40 කින් දියුණු වෙලා තිබෙනවා. යුරෝපය ප‍්‍රමුඛ රටවල් අපේ රටේ සංචාරයට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කරගෙන තිබෙනවා. ආරක්‍ෂාව සියයට සියයකින් තහවුරු වී තිබෙනවා. ඒත් විපක්‍ෂය හැදුවේ සහරාන්ගේ බෝම්බය හේතුකොට ගෙන කකුල් මාට්ටුවක් දාලා ආණ්ඩු බලය ලබා ගැනීමටයි.

පහුගිය ආණ්ඩුව කාලයේ සිප්දොර ශිෂ්‍යත්වය ලැබුණෙත් ආණ්ඩුවේ මන්තී‍්‍රන්ගේ ලැයිස්තුවට. ඒ ලබා දුන්නෙත් දසදහසකට විතරයි. ඒත් මම අද මෙතන කියනවා ශිෂ්‍යත්ව 75000 ක් නොවේ සිප්දොර ශිෂ්‍යත්ව ලක්‍ෂයක් හෝ ලබා දෙනවා. ඒ නිසා සමෘද්ධිය හිමි ලක්‍ෂ 20 හෝ ඊට වැඩි පවුල්වල ළමයින්ට කියන්න හොඳින් සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන්න. අපි සිප්දොර ශිෂ්‍යත්වය ප‍්‍රදානය කරන බවට සහතිකයි. ඒ වගේම සමෘද්ධි පවුල්වල ගැහැනු දරුවකු වැඩිවියට පත් වූ විට එම ගැහැනු දරුවාට රුපියල් 5000 ක දීමනාවක් ද ලබා දීමට කටයුතු කරනවා.

දෙසැම්බර් මාසයට පෙර නිවාස 30000 ක් හැදීමට අපි බලාපොරොත්තු වෙනවා. වැසිකිළි 50000 ක් හැදීමටත් අපේක්‍ෂා කරනවා. තරුණයන් 20000 කට රැුකියා ලබා දෙන ව්‍යාපෘති හදනවා. සමෘද්ධි බැංකු ජාලයම ඉදිරි මාස දෙක තුළ පරිගණකගත කිරීමට ද කටයුතු කරනවා. දෙසැම්බර් මාසය වන විට ඒටීඑම් යන්ත‍්‍රයකින් මුදල් ලබා ගැනීමේ හැකියාව සමෘද්ධි ලාභියාට ලබා දෙනවා.

ජනතාව දිළිඳු බවින් මුදා ගැනීමට හැකි නම් රට ඉබේම සංවර්ධනය වෙනවා. කවුරුවත් රට සංවර්ධනය කිරීමට අමුතුවෙන් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ව්‍යාපාර 43 ක් මම ආරම්භ කර තිබෙනවා. ඉන් 50000 කට පමණ රැුකියා ලබා දී තිබෙනවා. ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බෝග පැළ කෝටි දහයක් ජනතාවට ලබාදී තිබෙනවා. වැඩිහිටියෝ ලක්‍ෂ 26 කට ද, ආබාධිත ජනතාව ලක්‍ෂ 20 කට ද අපේ අමාත්‍යාංශය යටතේ සේවය සපයා දිය යුතුයි. වැන්දඹු කාන්තාවන් ලක්‍ෂ හයහමාරක් ද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගැනීමට ද සමාජ සේවා දෙපාර්තමේන්තුවට ලොකු වගකීමක් තිබෙනවා. අමාත්‍යාංශවල නිලධාරීන් ගොඩක් හිටියත් වැඩ කරන පිරිස සීමිතයි.

සමෘද්ධිලාභීන්ට ගිය ආණ්ඩුවෙන් කෝටි 130 ක් ලබා දුන්නත් අපි ඒ මුදල කෝටි 500 දක්වා වැඩි කළා. සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් ඔවුන් ලබා දුන් කෝටි 130 ක් අපි කෝටි 180 ක් දක්වා වැඩි කළා. සමෘද්ධිය නිකම් දුන්නු පලියට අපට මිනිසුන් සවිබල ගන්වන්න පුළුවන්කමක් නැහැ. ව්‍යාපෘති 50000 ක් අපි ඒ සඳහා සැලසුම් කර තිබෙනවා. ඉන් ව්‍යාපෘති 20000 ක් මේ වසරේ කි‍්‍රයාත්මක කරනවා. ඔබේ සහාය ඒ සඳහා අවශ්‍යයි. පක්‍ෂ, පාට භේදයක් අපට නැහැ. ගමේ තිබෙන සම්පත් වලින් ප‍්‍රයෝජනයක් ගනිමු”

යැයි ද ඇමැතිවරයා කීය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + ten =

Back to top button
Close