InterviewsNews

පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කළහැකි සෑම කැපකිරීමක්ම කරනවා | ඇමති රවී කරුණානායක

සටහන | කාවින්ද ගමගේ

මීට මාස කිහිපයකට පෙර සිටම එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ මතාවද සහ විවේචන සමාජය තුළ බොහෝ දක්නට ලැබුණත් අද වනවිට ඒ ගැටළු සියල්ල සමථයකට පත්වී, මුලු පක්ෂයම එක අපේක්ෂකයෙක් වටා ගොණුවී සිටිනු දක්නට ඇත. අවසානයේ කන්දක් විලිළා තෝරාගත් අපේක්ෂකයා අන් කවරෙක්වත් නොව සජිත් ප්‍රේමදාසම විය.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දීමේදී එයට පක්ෂය තුලින් විරෝධය ඉස්මතු කළ එ.ජා.ප. ප්‍රභලයන් අතලොස්සක් දෙනා අතුරින් එක් අයෙකු ලෙස උප නායක, අමාත්‍ය රවී කරුණානායක මහතා හැඳින්විය හැක.

අද ජනයුගය අපේ කතාබහ ඒ රවී කරුණානායක සමඟයි..

• ඉතිං ඇමතිතුමා කොහොමද අමාත්‍යංශයෙ වැඩ කටයුතු මේ දවස් වල..?

ඇත්තටම විදුලිබළ බළශක්ති අමාත්‍යංශය කියන්නෙ රටේ හදවත සහ ජීවනාලිය වගේ තැනක්. කොටින්ම කිව්වොත් මේක මම කළින් දරපු මුදල් අමාත්‍යංශයටත්, විදේශ කටයුතු අමාත්‍යංශයටත් යන දෙකටම වඩා වගකීම් විශාල වශයෙන් ඇති තැනක්. මම මේ අමාත්‍යංශය බාර ගන්නකොට මේක තිබුණෙ අවුල්ජාලයක් වෙලා. කොටින්ම මේක එක්තරා පක්ෂයක අගුපිළක් වෙලයි තිවුණෙ. ඒ නිසා මම මුළින්ම කළේ සේවකයන්ට තමන්ගෙ රැකියාව සුදුසු පරිදී කරන්න පුලුවන් වටපිටාවක් නිර්මාණය කරල දීපු එක. එයාලගෙ වෘත්තීය ඉල්ලීම් වලට මුල් තැන දීලා, ඒ අයගෙ දුවා දරුවන්ගෙ රැකියා ප්‍රශ්ණ ආදියට විසඳුම් දීලා, එයාලගෙ වැටුප් සම්බන්ධයෙන් යම් යම් හිතකාමී සංශෝදන කරලා ඒ අයව මුලින් තෘප්තිමත් කළා.

ඔබ දන්නව අපි රජයක් විදියට යමක් ප්‍රධානය කරන්නෙ අනික් පාර්ශවයෙනුත් යමක් බලාපොරොත්තු වෙලා.. අපි බලාපොරොත්තු වුණේ තෘප්තිමත් සේවයක් සහ රාජකාරියක් පමණයි. එයාල සතුටින් එයාලගෙ රාජකාරී කරන නිසා විදුලිබළ මණ්ඩළය දැන් හොඳ තැනක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. අනිත් තැන් වල වගේ මෙතන සේවක උද්ඝෝෂණ නෑ. මගේ යටතෙ ඉන්න සේවකයගෙ ඉඳන් මගේ අමාත්‍යංශ සේවකයා සහ වැඩබිමේ සිටින කම්කරුවා දක්වාම ඉන්නෙ බොහොම සතුටින්. මට මේ විෂය පථය අලුත් දෙයක් වුණාට දැන් මේක මගෙ ගෙදර වෙලා ඉවරයි.

• රටේ පවතින අයහපත් කාළගුණ තත්වය නිසා මේ සති කිහිපය ඔබට බොහොම අවිවේකී සති කිහිපයක් වෙන්න ඇති නේද ?

ඔව්. මේ වෙලාවෙ ඇතිවෙච්ච අයහපත් කාලගුණික තත්ත්වය නිසා විනාශ වුණු නිවාසවල හානි වුණ විදුලි පරිපථ නොමිලයේ අළුත්වැඩියා කරදීමට ලංවිම සේවක කණ්ඩායම් යොදවන ලෙස මම බළධාරීන්ට නියෝග ලබා දුන්නා. දින ගණනාවක් පුරාවටම බලපාපු අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා, බොහෝ ප්‍රදේශයන්හි ගස් කඩාවාටීම් සහ නායයාම් තත්ත්වයන් ඇති වුණා වගේම ඒ නිසා නිවාස වලටත් විශාල වශයෙන් හානි සිදුවෙලා තිබුණා.

ඒ අනුව ස්වභාවික ආපදා තත්ත්වයන් මත තම නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථානයන්හි අභ්‍යන්තර විදුලි පරිපථ අක්‍රීය වී ඇත්නම්, ඒ බව ළගම පිහිටි විදුලිබල මණ්ඩලයේ කාර්යාලයට දැනුම්දීලා අදාළ විදුලි පරිපථ යතා තත්ත්වයට පත්කර ගැනීමේ සේවාව, ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් ලබාදෙන්න මම තීරණය කළා.

මෙහෙම සේවාවක් අමාත්‍යංශයේ වගේම විදුලිබළ මණ්ඩළ ඉතිහාසයයේත් වෙන්නෙ පලවෙනි වතාවට. මේ වෙලාවෙ විපතට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට පිහිට වෙන්න ලැබීමම පිනක් කියලයි මම නම් හිතන්නෙ. ඉතින් අපි ලංකා විදුලි බළ මණ්ඩළය විදියට බොහොම සතුටින් ඒ සමාජ සත්කාරය දියත් කරමින් ඉන්නවා.

• දැන් සජිත් එක්ක තිබුණ ආරවුල සම්පූර්ණයෙන්ම විසඳිලාද ? මේ වෙලාවෙ ඔබේ පරාජය ඔබ පිළිගන්නවද ?

මම ඒ වෙලාවෙ සජිත් ප්‍රේමදාසට විරුද්ධව පක්ෂය තුළ හඬක් නැඟුවෙ මගේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නෙමෙයි. ඒක මම ඔබට බොහොම අවධාරණයෙන්ම කියන්න ඕන. මොකද මගේ ඉඩකඩම් දේපළ තියනවද ඔහු එක්ක බෙදාගන්න..? එහෙම එකේ ඔහු මොනව කළත් මට මොකද ? මම ඒ වෙලාවෙ ඔහුට විරුද්ධ වුණේ, ඔහු පක්ෂ නායකත්වය අභිබවා යන්න උත්සාහ කරපු නිසාත් පක්ෂයේ ප්‍රතිපත්ති වලට පිටින් කටයුතු කරපු නිසාත් පමණයි. අනිත් දේවල් මට අදාළ නෑ. මොකද මම මේ පක්ෂයේ උප නායකයා විදියට නායකයව සහ පක්ෂය ආරක්ෂා කරන්න බැඳීමක් දරන පුද්ගලයෙක්. එක්සත් ජාතික පක්ෂය කියන්නෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයෙ මුදුන්මල් කඩක්. ගොඩක් අයට එක අමතක වෙලා. මෙතන දුප්පතාගෙ ඉඳලා ධනපතියා වෙනකල් විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය කරන තැනක්. ඒ නිසා අපි මේ වෙලාවෙ බහුතර කැමැත්තට ඉඩක් දීලා සිදු කළේ තවත් දශක දෙකක් වෙනුවෙන් පක්ෂය ආරක්ෂා කිරීම පමණයි. මොකද අපිට මේ පක්ෂය බෙදී යනව බලන්න බැරි නිසා. ඉතින් ඒ, මම පරාජය වීමක් වෙන්නෙ කොහොමද ?

මේ පක්ෂය ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක උපරිමයෙන් තියනවා. ඒත් සමහරු අපෙන් අහනවා එක්සත් ජාතික පක්ෂය මෙච්චර කාළයක් මොනවද කළේ කියලත්. අපේ පක්ෂය කළ වැදගත්ම දේ තමයි රටෙන් ගිලහී යමින් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු එක. ඒ වගේම රට හරි මගට ගෙනැවිත් එක් ප්‍රදේශයකට, දිස්ත්‍රික්කයකට සීමාවෙලා තිබුණ සංවර්ධනය රටේ සෑම කොනකටම සමසේ ව්‍යාප්ත කරපු එක. අපට ඉදිරියටත් අවශ්‍ය වෙන්නෙ ඒ ලැබෙන ජනතා වරම තුළින් තවත් වසර 20 ක් පුරාවට එක්සත් ජාතික පක්ෂය ඉතාමත් ශක්තිමත් භාවයෙන් ජනතා සුබසාධනය වෙනුවෙන් ඉදිරියට රැගෙන යාම පමණයි.

• ඔබ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකාට 100% සහයෝගය ලබා දෙනවද ?

මේ වෙලාවෙ 100% ක් නෙමෙයි, දෙන්න පුලුවන් උපරිමය මම ලබා දෙනවා. මොකද ඔහු තමයි අපේ පක්ෂයේ අපේක්ෂකයා. මේ වගේ වෙලාවක මම සජිත්ගෙ හරි පක්ෂයේ හරි කකුලෙන් අදිනව කියන්නෙ මම අපේ සියලුම පාක්ෂිකයන්ට වළ කපනව වගේ දෙයක්. මම එහෙම ආත්මාර්ථකාමී මනුස්සයෙක් නෙමෙයි. මම මගේ දේශපාලන ජීවිතේ වසර 25 ම ගතකළේ පොඩි මනුස්සයට උදව් කරන්න සහ පක්ෂය නඟාසිටුවන්න. එහෙම කරපු මම මේ පාර සජිත්ට සහයෝගය දක්වන්නෙ නැතිව ඉඳීවිද ?

අද පක්ෂයක් හැටියට අපි සියලු දෙනාටම අත්වැල් බැදගෙන කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල පිරිස් බලාගෙන හිටියෙ අපේ මේ පක්ෂය කැඩී බිදී යාවි කියලා. එක්කො අපේ පක්ෂය කැඩිල විසිරිලා ගිහින් අපේක්ෂකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉදිරිපත් වෙයි කියලා තමයි ඔවුන් සිතාගෙන සිටියේ. නමුත් අපේ නායකතුමා ඇතුළු පක්ෂයේ සියළුම නියෝජිතයන් ඒකරාශිවෙලා ඒ හැගීම නිෂ්ප්‍රභා කළා. කොතරම් අභියෝග තිබුණත්, හරි වෙලාවට අපි එකතු වෙලා ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම තමයි අපේ පක්ෂයේ තිබෙන ලොකුම ශක්තිය.

ඒ නිසා දැන් අපට තියෙන්නේ කතාව නෙමෙයි. වැඩ කිරීමයි. අපේ පක්ෂය බෙදී සිටිය අවස්ථාවල අපි පරාජය වුණා. එකට වැඩකළ අවස්ථා වල අපිට විශිෂ්ඨ ජයක් ලැබුණා. ඒ නිසා දැන් අපි කටයුතු කළ යුත්තේ ජනතාව අතරට ගොස් විශිෂ්ඨ ජයක් ලබාගැනීමයි. අපි හිතන්න හොද නැහැ අපි ජයග්‍රහණය කළා කියලා. අපට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයක් නොවෙයි, විජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් අපි ගෙයින් ගෙට ගොස්, ජනතාව හමුවිය යුතුයි.

අපට සිටින්නේ ඡන්ද දායකයො ලක්ෂ 162 ක්. ඒකෙන් 78% ක් සාමාන්‍ය වශයෙන් ඡන්දය දානවනම්, අපට ලබාගන්න තියෙන්නේ ලක්ෂ 65ක ඡන්ද ප්‍රමාණයක්. ඒ වෙනුවෙන් අපි ලොකු කැපවීමක් කළ යුතුයි. ඒ නිසා මම අද දවසෙ ඔබට එක දෙයක් කියන්නම්. අපි සජිත් ප්‍රේමදාසව මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා කරනව විතරක් නෙමෙයි, එළඹෙන අවුරුද්දෙ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවකුත් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් මම කළ හැකි සියලු කැපකිරීමම කරනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − twelve =

සබැඳි ලිපි

Back to top button
Close