News

සජිත් පිලේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙයි..!

" සජිත්ගෙ පදේට නටන තමුසෙ මහ සර්පයෙක් අයිසෙ.." කිරිඇල්ල කබීර්ගේ මුහුණටම කියයි | සටහන - කාවින්ද ගමගේ

 

•සජිත්ගෙ පදේට නටන තමුසෙ මහ සර්පයෙක් අයිසෙ..” කිරිඇල්ල කබීර්ගේ මුහුණටම කියයි

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පිල් දෙකකට පැහැදිලි වශයෙන්ම වෙන්වී ඇති නිසා මේ වන විටත් ප්‍රභල අමාත්‍යවරුන් ප්‍රසිද්ධියේ ගහමරා ගැනීමට පටන් ගෙන ඇත. ඊට ආසන්නතම සිදුවීම වන්නේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ අමාත්‍ය කබීර් හෂීම් යන දෙදෙනාගේ ආරවුලයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂිම්ට ඉකුත්දිනක (06) අරලියගහ මන්දිරයේදී බැණ වැදුණු බව පක්ෂයේ ආරංච් මාර්ග සඳහන් කර සිටියි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අරලියගහ මන්දිරයේ දී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවැත් වූ විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවේදීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී කිරීමට ගිය කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කරුණු හෙළිදරව් කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අමාත්‍ය කබීර් හෂිම්ට මෙම චෝදනාව එල්ල කරනු ලැබු බව එහි අභ්‍යන්තර ආරංච් මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“ අපේ ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස කොල්ල කා මහින්ද රාජපක්ෂලාට ලබා දුන් අවස්ථාවේ දී ඊට එරෙහිව ආණ්ඩුව යළි ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පළමුව සටන ආරම්භ කළේ මමයි.

ආණ්ඩුව යළිත් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේදී මම කළ භූමිකාව ගැන ඇති වූ වැරදි වැටහීමක් නිසා අපේ ආණ්ඩුව යළි පිහිටු වීමේදී මගේ අමාත්‍යංශය දුර්වල කෙරුණු අතර මගේ බලතල සහ විෂයන් බොහොමයක් කප්පාදු කෙරුවා.

පසුව ජනාධිපතිතුමාම මට සිදු වූ අසාධාරණය තේරුම් ගත්තා. ඒ අනුව මට අවශ්‍ය අමාත්‍ය විෂයන් සහ බල තල පිළිබඳව ලිඛිතව දැනුම් දෙන්න යැයි ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව කබීර් හෂීම් වැඩිපුර දරන ඛනිජ තෙල් අමාත්‍යංශය ඔහුගෙන් ගලවා මට ලබා දෙන ලෙසට අගමැතිතුමා ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.

නමුත් පහුගිය දවසකදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයායි, කබීර් හෂීම්,රංජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික්‍රම, චන්ද්‍රානි බණ්ඩාර ජනාධිපතිතුමා හමු වෙලා කියලා තියනවා ඒ අමාත්‍යංශය මට දෙන්න එපා කියලා.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව මම ජනාධිපතිතුමා හමු වූණා. ඒ අවස්ථාවේදී එතුමා මට මේ ගැන කිව්වා. එතුමාගේ වචනයෙන්ම කියනවා නම් මේ පස් දෙනා ඇවිත් ඔබට මේ අමාත්‍යාංශය ලබා දෙන්න එපා කියා ඉල්ලමින් මගේ ඔළුව කෑවා යැයි එතුමා කිව්වා.

අපේ රවී කරුණානායක ඇමැතිතුමාත් ඒ වෙලාවේ එම ස්ථානයේ හිටපු නිසා ඔහු මේ ගැන සාක්කි දේවි.

එක්සත් ජාතික පක්ෂයේ සමඟිය ජයග්‍රහණය සහ විනය ගැන කතා කරන මේ අය අපේ දේශපාලන විරුද්ධවාදීන් එක්ක අපටත් අපගේ පක්ෂයටත් විරුද්ධව වැඩ කරන්නේ මෙහෙමයි.

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් ඒ අයගේ ඇමතිකම්වලින් ඉල්ලා අස් වුණා. ඒ වෙලාවේ තමුන් මොකක්ද කළේ?

ආණ්ඩුවෙයි, පක්ෂයෙයි, නායකයාගෙයි ස්ථාවරයට විරුද්ධව අගමැතිතුමාටත් නොකියා හොර රහසේම ගිහින් ජනාධිපතිතුමා හම්බවෙලා ඇමතිකමේ දිවුරුම් දුන්නා.

ඊට පස්සේ හොරෙන්ම ගෝඨාභය රාජපක්ෂව හම්බ වුණා. එහෙම හම්බ වෙලා එක්සත් ජාතික පක්ෂයේ සියලු රහස් ගෝඨාභය රාජපක්ෂට දුන්නා.

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී නවින් දිසානායක ඇමතිතුමා මේ ගැන ප්‍රශ්න කළා. එතකොට ගෝඨාභය රාජපක්ෂ හම්බවුණ බව පිළිගන්න තමුන්ට සිද්ධ වුණා.

ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයයි, අගමැතිතුමයි තීරණය කරලා මට ඛනිජ තෙල් අමාත්‍යංශය දෙන්න කියලා ජනාධිපතිතුමාට දැනුම් දුන්නාට පසුව තමුන් ඒ මැද්දට පැන්නා.

අගමැතිතුමාගේ තීරණ ක්‍රියාත්මක කරන්න එපා කියා ජනාධිපතිගෙන් ඉල්ලන්න තියෙන බලය මොකක්ද?

තමුන්ගේ ආගමට වගේම ජාතියටත් කරන ලැජ්ජාවක් මේක. තනතුරුවලට, වරප්‍රසාදවලට වගේම මුදල්වලට ඇයි මේ විදිහට පක්ෂය පාවලා දෙන්නේ?” යනුවෙන් මෙහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා මිනිත්තු 20කට අධික කාලයක් එම රැස්විම තුළදි දැඩි දෝෂ දර්ශනයක් එල්ල කලත් කබීර් හෂිම් අමාත්‍යවරයා ඊට කිසිදු පිළිතුරක් නොදුන් බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංච් මාර්ග සඳහන් කර සිටියේය.

මේ අතර, මැතිවරණ ඉතිහාසය තුළ එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කර ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බව අමාත්‍ය දයා ගමගේ ප්‍රකාශ කළා. එය පක්ෂයේ ව්‍යවස්ථාවේ සහ සම්ප්‍රදායේද පවතින්නක් බවයි එතුමන් අවධාරණය කළේ..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” ජන්දයක් අපි පවත්වනවානම් අපි පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම එකට එකතු කරනවා. ඒකයි අපේ පක්ෂයේ සම්ප්‍රදාය. සාමාන්‍යයෙන් අපි වැඩක් කරද්දී අපේ පක්ෂයේ ව්‍යවස්ථාවක් තියෙනවා ඒ වගේම සම්ප්‍රදාය තියෙනවා. ජනාධිපතිවරණයක් තියෙන කොට අපේ පක්ෂය සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියා තීරණය කරන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කලාට පස්සේ, තාම මේ වෙනකම් මැතිවරණයක් තියෙන දවසක් හෝ නාම යෝජනා කැඳවීමක් කරලා නැහැ..” යි ප්‍රකාශ කලේය.

මේ අතර ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (10) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මීට පෙර සාකච්ඡා සඳහා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා දිනයක් සහ වේලාවක් වෙන් කළද, සජිත් එම රැස්වීම වර්ජනය කළේ තමන් අධික කාර්‍යබහුල බව පවසමිනි.

• සජිත් පිළ දෙවනි මෙහෙයුමකට සූදානම් වෙද්දී හර්ෂ තම තීන්දුව සම්බන්ධයෙන් පැකිළෙයි..

රනිල් සජිත් දෙපාර්ශවය අතර, ඉදිරියේදී පවත්වන්නට නියමිත සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරන්ධරයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව අවසන් එකගතාවකට පැමිණෙනු ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරති.

කෙසේවෙතත්, ඉකුත් දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හරින් ප්‍රන්නාදු කියා සිටියේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස හට නොලැබෙන්නේ නම්, නියත වශයෙන්ම තම කණ්ඩායම දෙවන පියවරක් සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.

නමුත් සජිත් පිළ නියෝජනය කරන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ කොතෙක් අර්බුද පැවතිය ද එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට කිසිවෙකුට හෝ ඉඩ ලබා නොදෙන බවයි. එසේ වන්නේ නම් තමන් කිසිඳු පිළක සාමාජිකත්වය ලබා නොගන්නා බවද හෙතෙමේ සඳහන් කළේය.

තවද ඉකුත්දා පැවති සජිත් පිළේ රැස්වීමකදී අමාත්‍යවරයා සිදු කළ කතාවේදී අග්‍රාමාත්‍යවරයාගේ නම කියවෙනවාත් සමඟම හූ හඬක් ඇසීමට සැළස්සවූ සජිත් කණ්ඩායමේ තීන්දුව , තම කතාව තුළම දැඩි දෝෂ දර්ශනයට ලක් කිරීමට අමාත්‍යවරයා පසුබට නොවුණේය.

ඔහු පැවසුව් තමන් පක්ෂ නායකත්වයටගරු කරනා බවත්, කිසිවෙකුට තමන් නායකාව විවේචනය කර ගමනක් යාමට නොහැකි බවත් ය. කිසි ලෙසකින් හෝ සජිත් ජනාධිපති අපේක්ෂකයා වන්නේ නම්, එය නායකත්වයේ පූර්ණ ආශීර්වාදය සහිතව විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන තවත් ජනරැළි 04ක් පුත්තලම, මාතලේ, රත්නපුර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බවයි ඔහුට සහය දක්වන පාර්ශවය පැවසුවේ.

• සජිත් පක්ෂය තුල කුමන්ත්‍රණ කරන බව ඇමති රවී කරුණානායක පවසයි

ඉකුත් ඔක්තෝබර් මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට කර ගැනීමට නොහැකිවූ පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය මෙවර සජිත් ප්‍රේමදාස මහතාම එළිපිට ආරම්භ කර ඇතැයි රවී කරුණානායක මහතා චෝදනා එල්ල කළා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එ.ජා.ප. ය තුල විනයක් ඇති බවත්, නායකත්වයට අභියෝග එල්ල කරමින් කිසිවෙකුට ගමනක් යාමට නොහැකි බවත් ය.

තවද එසේ අසංවිධානාත්මක ගමනක් යාමෙන් සිදු වන්නේ පාක්ෂිකයා සහ පක්ෂය අනාථ වීම පමණක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දවූ ඒ මහතා සඳහන් කළේ එ.ජා.ප. ය සුදුසුම අවස්තාවකදී තම අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධයෙන් හෙළිදරව් කරන බවත්, අනවශ්‍ය අපේක්ෂක පුවරු ප්‍රදර්ශනය කරමින් පක්ෂයට හානි සිදු නොකරන ලෙසත් ය.

• ජනාධිපතිවරණය වසරකින් කල් යයිද.. ?

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තම ධූර කාලය අවසන් වන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර සිටී .

තමාට හිමි වසර පහක ධූර කාලය ආරම්භවන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දින සිටද එසේත් නැතහොත් තමා ධූරයේ දිවුරුම් දුන් දින සිටද යන්න නිශ්ච්තව දැනගැනීම මෙහිදී ජනපතිවරයාගේ අරමුණ වී ඇති බවද වාර්තාවේ .

මේ පිළිබඳව දනටමත් ජනපතිවරයා තම නීතීඥවරුන්ගෙන් කරුණු විමසා ඇති අතර ඒ නුව ඉදිරි දින කිහිපය තුළත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම මත විමසීම සිදුකිරීමටද සැලසුම් කර ඇති බව වාර්තාවේ.

19 වැනි ව්‍යවස්තා සංශෝධනය සම්මතවුයේ 2015 වසරේ මැයි මස 15 වන දින වන අතර යම් හෙයකින් ජනපති ධූර කාලය ආරම්භවන්නේ එඩින් සිට බවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් එම තීන්දුව ජනාධිපතිවරනයටද ඍජුවම බලපානු ඇති බව නීතිවේදීන් සඳහන් කර සිටිති.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =

සබැඳි ලිපි

Back to top button
Close